දියවැඩියා ඇස් රෝග

දියවැඩියා රෙටිනොපති කාලයත් සමග අදියර ලෙස වර්ධනය වීම සිදුවේ. දියවැඩියා දෑස් තත්ව පරීක්ෂාවකදී, ඔබට දියවැඩියා රෙටිනොපති ඇතැයි හදුනා ගතහොත්, ජීවන රටාවේ වෙනස්කම් සහ/හෝ ප්‍රතිකාර මගින් ප්‍රශ්නය තවදුරටත් වර්ධනය වීම වලක්වා ගත හැකිය. දියවැඩියා රෙටිනොපතිහි ප්‍රධාන අදියරයන් පහත විස්තර කර ඇත. ඔබ මේ සියල්ලම අනිවාර්යයෙන්ම අත්විඳ නොගනු ඇත.

අදියර 1: පසුබිම් රෙටිනොපති (Background retinopathy)

මෙහිදී ඔබගේ ඇස් වල පිටුපස(දෘෂ්ටි විතානය) ඇති රුධිර නාලිකා වල කුඩා නෙරීම් ඇති වීම (microaneurysms) සහ ඒ නිසා කුඩා ප්‍රමාණයෙන් රුධිරය කාන්දු වීම සිදුවේ. මෙය දියවැඩියාවෙන් පෙලෙන අය අතර ඉතා බහුලයි. මෙම අදියරේ දී:

  • ඔබගේ පෙනීමට බලපෑමක් නොවේ, නමුත් අනාගතයේදී පෙනීම හා සම්බන්ධ ප්‍රශ්න ඇතිවීමේ ඉහල අවධානමක් ඇත
  • ඔබට ප්‍රතිකාර අවශ්‍ය නොවන මුත්, ප්‍රශ්නය තවදුරටත් නරක අතට පත්වීම වැලැක්වීම සදහා වගබලා ගත යුතුය - දියවැඩියා රෙටිනොපති වලක්වා ගැනීම පිලිබඳව තවදුරටත් කියවන්න
  • ඔබගේ දෑස් දෙකම බලපෑමට පත්ව ඇත්නම් වසර 3කට අඩු කාලයක් ඇතුලත එය අදියර වලට වැඩිදියුණු වීමේ හැකියාව 25%කට වඩා වැඩිය

අදියර 2: පෙර-ප්‍රගුණන රෙටිනොපති (Pre-proliferative retinopathy)

දෘෂ්ටි විතානය තුලට රුධිර වහනය වීම ඇතුළුව, දෘෂ්ටි විතානය තුල වඩාත් බරපතළ හා පුළුල් වෙනස්කම් දක්නට ලැබීම මෙහෙදී සිදුවේ. මෙම අදියරේ දී:

  • ඔබගේ පෙනීම ක්‍රමයෙන් පීඩාවට පත්වීමට ඉහල අවධානමක් ඇත
  • ඔබගේ දෑස් නිරීක්ෂණය සදහා සෑම මාස 3 සිට 6 කට වරක් නිරන්තරයෙන් හා වැඩිපුර තත්ත්වය පරීක්ෂාවන් වලට සහභාගී වන ලෙස සාමාන්‍යයෙන් ඔබට උපදෙස් ලැබෙනු ඇත

අදියර 3: ප්‍රගුණන රෙටිනොපති (Proliferative retinopathy)

මෙහිදී ඔබගේ දෘෂ්ටි විතානය මත සැලකියයුතු තරම් රුධිර වහනයක් සිදු කල හැකි නව රුධිර නාලිකා සහ කැලැල් පටක සෑදීම සහ දෘෂ්ටි විතානය අබද්ධය(එනම් ඇසෙහි පිටුපසින් දෘෂ්ටි විතානය ඉවතට ඇදීයාම) දක්වා ලගා කරවීම සිදු විය හැකියි. මෙම අදියරේ දී:

  • ඔබට පෙනීම නැතිවීමට ඉතා ඉහල අවධානමක් ඇත
  • මෙහිදී සිදු කරන ප්‍රතිකාර මගින් ඔබට නැතිවූ පෙනීම නැවත ලබාදීම සිදුකල නොහැකි වුවත්, තිබෙන තරමේ පෙනීම ස්ථායී ව පවත්වා ගැනීම සිදුකරනු ඇත

දියවැඩියා මැකුලෝපති (Diabetic maculopathy)

සමහර අවස්ථාවන්හිදී ඇසෙහි කහ බිංදුව (දෘෂ්ටි විතානයේ මධ්‍ය ප්‍රදේශය) නම් කොටසේ රුධිර නාලිකා කාන්දු වීම හෝ අවහිර වීම සිදුවිය හැක. මෙය දියවැඩියා මැකුලෝපති (diabetic maculopathy) ලෙස හැදින්වේ. මෙය අනාවරණය වුවහොත්:

  • ඔබගේ පෙනීම ක්‍රමයෙන් පීඩාවට පත්වීමට ඉහල අවධානමක් ඇත
  • ඔබගේ දෑස් නිරීක්ෂණයට වැඩිපුර නිරන්තර විශේෂඥ පරීක්ෂණ සිදුකිරීමට උපදෙස් ලැබෙනු ඇත
  • ප්‍රශ්නය තවදුරටත් නරක අතට හැරීම වැලැක්වීමට උපකාරී වන ප්‍රතිකාර පිලිබඳව සාකච්ඡා කිරීමට රෝහල් විශේෂඥයෙකු වෙත ඔබව යොමු කෙරෙනු ඇත